කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්
ගොස් ඒ අනුව ජිවත් වන්න!
"ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" යන කියමන සමහරවිට ඔබත් අසා ඇති. තමුන්ගේ ක්‍රියාව කෙසේ වෙතත් "අනුන්ට ගුරුහරුකම් දීම පමණක්" යන අදහස පෙන්වාදෙන මේ කියමන එදාට පමණක් නොව නුමුත් මේ අදටත් එකසේ ගැලපෙයි.
ඇත්ත එය වුණත් මේ කියමන පවා අනෙක් පැත්තට පෙරලාගෙන පෙන්නාදෙන අවස්ථාද අප අතර නැතුවා නොවෙයි. හරි දෙය පිළිගැනීමට ඇති අකමැත්ත උඩ වැරැද්ද පෙන්වාදෙන අවංක පුද්ගලයන් අවමානයට පත්කර තමුන්ගේ වැරැද්ද යටගසා ගැනීමට දරණ උත්සාහය එවිට එයින් පිළිඹිඹු වෙයි. සමහරුන් එසේ කරන්නේ අපට හරිදෙය පෙන්වාදෙන අවංක පුද්ගලයන්ගේ අවවාද අනුශාසනා පිළිගැනීමට ඇති අකමැත්ත උඩ එවැන්නන් ගැරහීමට ලක්කිරිමටයි.
කලයුතු හරි දේ හොඳින් දැන දැනත් එය නොකර ඒ වෙනුවට ලෝකයාට පෙනෙනසේ බොරුවට කට වචනයෙන් පමණක් අනුන්ට ගුරුහරුකම් දෙමින් ගෙනයන ජිවිත රටාව පිටුපස ඇත්තේ "වංචාව පෙරදැරිකරගත් රැවටීමක්" වුවත්, එය පහසුවෙන් තේරුම් ගැනීමට හෝ එවැන්නන්ගෙන් ප්‍රවේශම් වීමට හෝ අපහසු වන්නේ මිනිසුන්ගේ ඇතුලාන්තයේ ඇති අරමුණ තේරුම් ගැනීමේ හැකියාව අපිට නොමැති හේතුවයි. එසේම ක්‍රිස්තු ඇදහිලිවන්තයන් හැටියට අපිත් එවැනි ජිවිත රටාවකට ඇබ්බැහි වී ජීවත්වන්නේ නම් එයින්ද පලක් නොවෙනා බවත් දෙවියන්වහන්සේගේ වචනයත් අපට පවසයි.
යේසුස් වහන්සේ ජීවත්ව සිටි ඒ කාලයේදී පවා එවැනි රැවටිලිකාර මිනිසුන් උසස් සමාජයේ වැදගත් ගුරුවරුන් මෙන් පෙනීසිටිමින් මිනිසුන් ඉදිරියේ බොරුවට තමුන් ශුද්ධවන්තයන් සේ පමණක් නොව නුමුත් තමුන් දේවධර්මය අකුරටම පිළිපදින ආගමික ගුරුවරුන් ලෙසින්ද රඟපාමින් ජිවත් වූ බවත් පෙනෙන්නේ එවැනි අවස්තාවක් අලුත් ගිවිසුමේ සටහන් වී තිබීමයි.
දිනක් යේසුස් වහන්සේ සාමාන්‍ය මිනිසුන්ට "සදාකාල ජීවනය" යනුවෙන් අදහස් කෙරෙන්නේ කුමක්ද කියා ඒ ගැන තේරුම් කර දෙමින් සිටියෙදී, ඒ අසල ඒ දෙස බලා සිටිය එක්තරා දේව ධර්ම ආචාර්යවරයෙකුද උන්වහන්සේ ගෙන් තමන් හොඳින් දන්නා මාතෘකාවක් වූ ඒ "සදාකාල ජීවනය" තමුන් විසින් ලබාගනු පිණිස කලයුත්තේ කුමක්දැයි කියා උන්වහන්සේ ගෙන් "ප්‍රශ්නයක්" ඇසු බව ශුභාරංචි පොත්වල සඳහන් වේ.
("සදාකාල ජීවනය"යන ඒ මාතෘකාවෙන් අදහස් වන්නේ මරණින් මතුවටත් ඇති අපගේ ආත්මික ජීවිතයේ මතු පැවැත්ම ගැනයි.)
දේව ධර්මය අනුන්ට උගන්වන ගුරුවරයෙකු වූ මොහු තමා අසා සිටින ප්‍රශ්නයට පිළිතුර හොඳින් දැන දැනත් බොරුවට ඔහු එසේ කරන්නේ මිනිසුන්ගේ අවදාන තමුන් වෙතට හරවා ගැනීමටයි. ඔහුගේ යටිසිතේ සැඟවුණ හේතුව දැනගත් යේසුස් වහන්සේද ඔහු අසා සිටිය ඒ ප්‍රශ්නයට කෙලින්ම පිළිතුරක් දෙනවා වෙනුවට ඒ ගැන මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා ඇත්තේ කුමක්දැයි? කියා ඔහුගෙන්ම අසා සිටින්නේ ඔහුගේ යටිසිතේ අරමුණ උන්වහන්සේ තේරුම් ගත්ත නිසායි.
ආගමික ගුරුවරයෙකු වූ ඔහුද මිනිසුන් ඉදිරියේදී යේසුස් වහන්සේ ඔහුගෙන් අසා සිටිය ඒ ප්‍රශ්ණයට පිළිතුර බොරුවට හෝ තමුන් නොදන්නා බව පැවසීමට මැලිවන්නේ, එවිට මිනිසුන් ඉදිරියේදී ඔහු නුගත් ආචාර්ය වරයෙකු ලෙසින් පෙනීයන හේතුව නිසා වන බැවින් ඔහුද මෝසෙස්ගේ ඉගැන්වීම ඒ ගැන පවසා ඇත්තේ කුමක්දැයි කියා (ව්‍යවස්ථාව) "කටපාඩමින්" යේසුස් වහන්සේට පැවසු බවත් ඒ කතාවම වාර්තා කර සිටියි.
යේසුස් වහන්සේගෙන් ඒ ආගමික නායකයා අසාසිටිය ප්‍රශ්නයට පිළිතුර මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සටහන් වන බැවින් උන්වහන්සේද ඒ ගැන ඔහුගෙන්ම අසන්නේ ඔහු ආගමික නායකයෙකු වූ හේතුවයි. ඒ අවස්ථාවේදී ඔහුද ව්‍යවස්ථාවේ ඒ කොටස කටපාඩමින් උන්වහන්සේ ඉදිරියේ පැවසීමෙන් පැහැදිලි වන්නේ, ඒ ආගමික නායකයා ද තමුන් අසා සිටිය ඒ ප්‍රශ්ණයට දේව වචනය පෙන්වාදෙන පිළිතුරත් හොඳින් දැන සිටිය අයෙකු වූ බවයි.
ඒ දෙස ලෝකයාගේ පැත්තෙන් බැලීමේදී පෙනෙන්නේ, සමාජයේ කැපීපෙනෙන එවැනි මිනිසුන් වටා රොක්වී ඔවුන්ව අනුගමනය කිරීමේ පුරුද්ද මේ වර්තමානයේ පමණක් නොව නුමුත් ඒ අතීතයේ පවා තිබුන හෙයින්, මේ ආගමික ගුරුවරයාද මෙහිදී යේසුස් වහන්සේ වටා රැස්ව සිටි ඒ සෙනග ඉදිරියේ තමාද දක්ෂ ගුරුවරයෙකු බව හැඟවීමටත් එසේම ඒ තුලින් එහි සිටි මිනිසුන් ගේ අවධානය තමන් වෙතටත් හරවා ගැනීමටත් ඔහු එසේ බොරුවට යේසුස් වහන්සේ ගෙන් ඒ ප්‍රශ්ණය ඇසූ බව පෙනෙයි.
ඔහුගේ මේ ක්‍රියාව පිටුපසින් අරමුණු කීපයක් මනාව දර්ශනය වන නිසා ඒවා හඳුනා ගැනීමත් මෙහිදී අපට වැදගත් වන්නේ, එවිට මේ පුද්ගලයාගේ ජිවිත රටාව පමණක් නොව නුමුත් වර්තමානයේ ඇදහිලිවන්තයන් ලෙසින් පෙනීසිටින අපගේ ක්‍රියා කලාපයත් වටහා ගනු පිණිසයි.
1. ඔහුගේ මේ ක්‍රියාව මතු කරණ පළමු අරමුණ;
මාතෘකාව හොඳින් දැන දැනත් බොරුවට දන්නා දෙයක් ගැන නොදන්නා අයෙකු සේ සෙනග ඉදිරියේදී යේසුස් වහන්සේ ගෙන් ප්‍රශ්නයක් ඇසීම තුළින් ඔහු බලාපොරොත්තු වන්නේ; යේසුස් වහන්සේ අවට රැස්ව සිටි ඒ සාමාන්‍යය මිනිසුන්ගේ අවදානය ඒ තුලින් ඔහු වෙතට යොමුකර ගැනීමයි. එය ඔහුගේ පළමු අරමුනයි.
2. එතුලින් ඔහු බලාපොරෝත්තු වූ දෙවැනි අරමුණ වන්නේ;
සාමාන්‍යය මිනිසුන් ඉදිරියේ ඔහු යේසුස් වහන්සේට වඩා ව්‍යවස්ථාව ගැන උගත් පණ්ඩිතයෙකු බවත් එතන රැඳී සිටිය සාමාන්‍යය මිනිසුන් ඉදිරියේ ප්‍රදර්ශණය කිරීමයි. (මෝසෙස්ගේ ව්‍යවස්ථාව කටපාඩමින් සියලු දෙනා ඉදිරියේ හඬ නගා පැවසීම ඒ බව තහවුරු කරයි.)
3. ඔහුගේ තුන්වැනි අරමුණ වන්නේ;
ඒ තුලින් යේසුස් වහන්සේ ගැන වරදක් මතුකර ගෙන එය සෙනගට පෙන්නා දීමට අවස්තාවක් සොයා ගැනීමට දරණ උත්සාහයයි.
යේසුස් වහන්සේ විසින් ඔහුගෙන් අසා සිටිය අනු ප්‍රශ්නයට ඒ ආගමික නායකයා දෙනු ලැබූ පිළිතුර ගැන උන්වහන්සේ පවසා සිටින්නේ; "නුඹ කිවා හරිය, ගොස් ඒ අනුව ජිවත්වන්න! යන ප්‍රතිචාරයයි. ඒ අනුව ඔහුගේ පිළිතුර නිවැරදි එකක් බව යේසුස් වහන්සේ ප්‍රසිද්ධියේම කියා සිටියි.
ඒ නුමුත් ඒ ගැන විමසිල්ලෙන් බලද්දී යේසුස් වහන්සේ ඔහුට පැවසු ඒ ප්‍රතිචාරය ඔහුගේ ජීවිතය ගැන නොපෙණෙන කාරණා දෙකක් එලියට ගෙනෙයි. ඔහුගේ පිළිතුරට යේසුස් වහන්සේ දැක්වූ ප්‍රතිචාරය කොටස් දෙකකින් යුක්ත වෙයි; නුඹ "කීවා හරිය" යන කොටස එහි පළමු කොටසයි. ගොස් "ඒ අනුව ජිවත් වන්න" යන ඒ කොටස එහි දෙවැනි කොටසයි.
නුඹ කිවා "හරිය" යන ඒ පළමු කොටස එළිදරව් කරන්නේ, මිනිසෙකු ලෙසින් දේව වචනයේ සඳහන්ව ඇති සදාකාල ජිවණය උරුම කරගැනීමට අවශ්‍යය වූ ඒ නිවැරදි ඉගැන්වීම ඔහුද නිවැරදිව දැන සිටිය කාරණයයි. යේසුස් වහන්සේම ඒ බව පවසයි. ඒ අනුව ඒ දෙස බැලීමේදී මිනිසුන් වන අපගේ මතු ජීවිතය ගැන ඇති දෙවියන්වහන්සේගේ සැළැස්ම ගැන පැහැදිලි අවබෝධයක් ඔහුට තිබුන බව පැහැදිලිව පෙනෙයි.
නුමුත් මෙහිදී ඔහු දේව ධර්මය උගන්වන ආගමික නායකයෙකු බව දැන දැනත් ඇයි යේසුස් වහන්සේ ඔහුට ගොස් "ඒ අනුව ජිවත් වන්න" කියා කියන ඒ අවවාදය කිසිවෙකුටත් නොපෙනුන ඔහුගේ ජිවිතයේ අනෙක් පැත්ත පෙන්නුම් කරයි. ඇයි යේසුස් වහන්සේ ඔහුට එසේ කියන්නේ? යනුවෙන් ඔබත් සිතුවේ නම් ඒ හේතුව යේසුස් වහන්සේ ඔහුට පෙන්වාදෙනු පෙනෙයි.
යේසුස් වහන්සේ විසින් ඉතා කාරුණිකව පවසා සිටින " ගොස් ඒ අනුව ජිවත්වන්න" යන මේ කොටසින් පැහැදිලි වන්නේ ඔහුගේ ජිවිතයේ අප නොදත් තවත් පැත්තක් තිබෙන බවයි. එයින් පැහැදිලි වන්නේ ඔහු දේව ධර්මය අනුන්ට උගන්වන ආගමික නායකයෙකු ලෙසින් සමාජයේ පෙනිසිටියත් ඔහුගේ පුද්ගලික ජීවිතයේදී ඔහු ඒවා නොපවත්වන මිනිසෙකු බවත් පැවසීමයි.
ඒ අනුව ඒ දෙස බලනවිට පෙනෙන්නේ ඔහු ලෝකයාට පෙණෙන සේ බොරුවට ශුද්ධවන්තයෙකු ලෙසින් පෙනිසිටියත් ඔහුගේ පුද්ගලික ජීවිතයේදී ඔහු දෙවියන්වහන්සේට හෝ දේව වචනයට හෝ කීකරුව ජීවත්වීමට උත්සාහ කරණ මිනිසෙකු නොවූ බවයි. එබැවින් යේසුස් වහන්සේ මෙහිදී ඉතා කාරුණිකව ඔහුට " ගොස් ඒ අනුව ජිවත්වන්න" යන වචන යොදාගනිමින් පවසන්නේ, ඔහු විසින් කටපාඩමින් කියා සිටිය ඒ මෝසෙස්ගේ ඉගැන්වීමට අනුව කීකරුවී ජිවත්වීමත් සදාකාල ජීවනය උරුම කරගැනීම සඳහා අවශ්‍යය බව ඔහුට පෙන්වාදීමයි.
යේසුස් වහන්සේ විසින් ඔහුට එසේ පැවසීම පිටුපසින් තවත් හේතුවක්ද තිබෙයි. ඒ හේතුවත් දැනගෙන සිටීම අපටත් මෙහිදී ප්‍රයෝජනවත් වන්නේ, සදාකාල ජීවනය යන දෙවියන්වහන්සේගේ ඒ පොරොන්දුව උරුමකර ගැනීම සඳහා අපටත් එය ප්‍රයෝජනවත් වන හේතුවයි. යේසුස් වහන්සේ එහිදී ඔහුට පෙන්වාදෙන ඒ "හේතුව" වන්නේ, ඇදහිලිවන්තයන් වන අපට දෙවියන්වහන්සේ විසින් දී ඇති සදාකාල ජීවනය යන ඒ පොරොන්දුව උරුම කරගැනීමට නම්, සත්‍යය දැනසිටීම පමණක් ප්‍රමාණවත් නොවන කාරණයයි. එයින් අදහස් වන්නේ දෙවියන්වහන්සේගේ වචනයට ජිවිතයෙන් කීකරු නොවී නමට ක්‍රිස්තියානිකාරයන් වූ හේතුවෙන් ඒ පොරොන්දුව අපට උරුම නොවෙන හේතුවයි.
දෙවියන්වහන්සේගේ වචනයට හදවතින් අවංකව කීකරු වීම පමණක් ඒ සඳහා ඇති එකම මාර්ගය බව යේසුස් වහන්සේ ඔහුට මතක්කර සිටියි.
එතුලින් පැහැදිලි වන්නේ යේසුස් වහන්සේ අදහන ඇදහිලි වන්තයන් වන අපත් ඒ ආගමික නායකයා ලෙසින් ජීවත්වන්නේ නම්, ජීවිතය අවසානයේදී අපට හිමිවන අපගේ අවසානයත් හිස් එකක් වන බවයි. ක්‍රියාවෙන් නොපෙණෙන ඇදහිල්ල මැරුණ එකක් බව යාකොබ් තුමාද පෙන්වාදෙයි. එසේ පැවසීමෙන් යාකොබ් තුමා අදහස් කරන්නේ නමට පමණක් ඇදහිලිවන්තයන් සේ ජීවත්වීම (නාමික ක්‍රිස්තියානිකාරයන් ලෙසින් සමාජයේ ජීවත්වීම) යන ඒ ජිවිත රටාවේ ඇතුල් පැත්ත ආත්මිකව "හිස්වූ එකක්" යන යථාර්තයයි. එයින් අවසානයේදී රැවටෙන්නේ අපම පමණක් බවත් දේව වචනය පෙන්වාදෙයි.
මේ ආත්මික තත්වය පහදා දෙමින් යාකොබ් තුමා කල ඉගැන්වීමක් අලුත් ගිවිසුමේ යාකොබ් පොතේ මෙසේ සටහන් වෙයි. ඔහු ඒ ගැන උදාහරණයක් හැටියට පවසා සිටින්නේ, එයත් හරියට "වැස්ස නැති කළු වලාකුලක්" හා සමාන හිස්වූ ජීවතයක් බවයි.
"මාගේ සහෝදරයෙනි, තමාට ඇදහිල්ල ඇතැයි යමෙක් කියන නුමුත් ඇදහිල්ල පිළිඹිඹු කරණ ක්‍රියා තම ජිවිතයේ නොමැති නම් එයින් ඔහුට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද ?
ඇදහිල්ල ක්‍රියා නැතුව තනියම තිබේ නම් එය මැරිලාය. හිස්වූ මිනිසුනි ක්‍රියා නැති ඇදහිල්ල නිෂ්ඵල බව නුඹලා දැනගන්නට කැ මතිද?
ආබ්‍රහාම් ගේ ක්‍රියාව ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන් ගනු ලබුවේය.
ආත්මය නැති ශරීරය මැරී තිබෙන්නාක් මෙන්ම ක්‍රියා වලින් වෙන්වූ ඇදහිල්ලත් මැරී තිබෙයි. "
-යාකොබ්
ලෝකයාට පෙනෙන පිණිස නමට පමණක් බොරුවට ක්‍රිස්තියානි ඇදහිලිවන්තයන් ලෙසින් ලෝකයා ඉදිරියේ ජීවත්වීම තුලින් අවසානයේ අපට දෙවියන්වහන්සේගේ පැත්තෙන් කිසි දෙයක් උරුම නොවෙනා බව පෙන්වාදීමට යාකොබ් තුමාද අලුත් ගිවිසුමේ එවැනි ප්‍රශ්ණයක් හුවා දක්වමින් ඔහු වටා සිටිය ඒ ඇදහිලි වන්තයන් උනන්දු කරවන්නේද, ක්‍රිස්තියානි ජීවිතය දේව වචනයට අනුකුලව අවංකව කීකරුකමින් ජීවත්වීමට උත්සාහ කරණ ජිවිතයක් බව පෙන්වාදීමටයි. එසේ නොවෙනා විටදී අපට දෙවියන්ගේ පැත්තෙන් කිසිවක් නොලැබෙන බව ඔහු පැහැදිලිව පවසයි. එවැනි ජිවිත රටාවක අවසානය අපවම අප විසින් රවටා ගැනීමක් පමණක් බව පෙන්වාදෙන යාකොබ් තුමා මෙහිදී තේරුම් කරදෙන්නේ "අවංක කීකරුකම" පමණක් දෙවියන්වහන්සේ වෙතට අපව සම්බන්ධ කළහැකි රහසයි.
සදාකාල ජීවනය ගැන මෝසෙස්ගේ ව්‍යවස්ථාව පවසා ඇත්තේ කුමක්ද? කියා එදා යේසුස් වහන්සේ ඒ පරිසිවරයා ගෙන් අසා සිටියේදී, ඒ ආගමික නායකයාද කටපාඩමෙන් උන්වහන්සේට දුන් පිළිතුරට යේසුස් වහන්සේ දෙන ප්‍රති උත්තරය වන්නේ, "නුඹ කිවා හරිය" පමණක් නොව නුමුත් "නුඹ ගොස් ඒ අනුව ජිවත් වන්න" යන පිළිතුරයි. ඒ නුමුත් යේසුස් වහන්සේ විසින් ඔහුට දෙන ලද ඒ අවවාදය පිළිගැනීමට ඔහු අකමැති වූ බවත් ඒ කතාවේ අවසානයේ සටහන් වෙයි.
"ව්‍යවස්ථාව උගන්වන්නෙක් නැගිට උන්වහන්සේ පරික්ෂා කරමින්;
ආචාරිනී, සදාකාල ජීවනය උරුම කරගන්නා පිණිස මා විසින් කුමක් කලයුතු දැයි උන්වහන්සේ ගෙන් ඇසුවේය.
උන්වහන්සේද; ව්‍යවස්ථාවේ ලියා තිබෙන්නේ කුමක්දැයි ඔහුගෙන් ඇසීය.
ඔහුද උත්තර දෙමින්;
නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු ශක්තියෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද, නුඹේ දෙවි වූ ස්වාමින්වහන්සේටත් නුඹට මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරව යනුයි කීවේය.
උන්වහන්සේද; නුඹ උත්තර දුන්නා හරිය.
ගොස් එසේ කරන්නැයි උත්තර ඔහුට කිවේය.
නුමුත් ඔහු නිදොස් වන්නට කැමතිව, මාගේ අසල්වැසියා කවුරුන්දැයි කියා උන්වහන්සේ ගෙන් නැවත්තත් ඇසුවේය.
-ලුක් 10:25-29
සත්‍යය සත්‍යයක් බව පිළිගැනීමටත් වඩා තමා ඉදිරියේ ඇති ඒ සත්‍යයට කීකරුවී ජීවත්වීම අපහසු එකක් වන්නේ ඒ සඳහා බොහෝ කැපවීම්ද පුද්ගලිකව කිරීමට සිදුවීමයි. දෙවියන්වහන්සේ සත්‍යයයි කියා පිළිගත් බොහෝදෙනෙක් මෙලොව ජිවත්වුවත්, දෙවියන්වහන්සේ යන ඒ සත්‍යයට ජිවිතයෙන් කීකරුවී ජිවත්වන මිනිසුන් පමණක් ඇදහිලි වන්තයන් යන ඒ කොටසට අයත් වෙයි. ක්‍රිස්තුස් වහන්සේ අදහන ඇදහිලිවන්තයන් දෙවියන්වහන්සේගේ දරුවන් ලෙසින් හඳුන්වා ඇත්තේද ඒ නිසායි. එබැවින් යාකොබ් තුමා පැවසු ලෙසින් අප අදහන ඇදහිල්ල වචනයට පමණක් සීමාවූ එකක් නොවෙනා පිණිස එය ජිවිතයේද කොටසක් බවට පෙරලාගෙන දේව වචනයට කීකරුවී ජීවත්වීමට උනන්දු වීම ක්‍රිස්තියානි ජිවිතයේ සැබෑ පැත්තයි.
යාකොබ් තුමා සඳහන් කරණ මේ "ක්‍රියාවෙන් නැති ඇදහිල්ල" ගැන පැහැදිලි කෙරෙන් හොඳ උදාහරණයක් එක දේවගැති වරයෙකුගේ දේශනාවක මම ඇසුවෙමි. අවසානයේදී එයත් මෙහි සඳහන් කිරීමට අදහස් කලේ, ක්‍රියාවෙන් නැති ඇදහිල්ල තේරුම් ගැනීමට එයත් උපකාර වෙනු ඇතියි සිතුන නිසායි.
නත්තල් දිනයක එක බිමත් පුද්ගලයෙකු දේව මෙහෙයට පැමිණෙන්නේ නත්තල් දිනයේදී සෑම ක්‍රිස්තියානි කාරයන් දේවස්ථානයට යායුතුයි යන ඒ පිළිගැනීම මේ පුද්ගලයා තුලත් තිබුන නිසා වියහැකියි. මොහු ක්‍රිස්තියානි පව්ලක උපත ලැබුවත් ඔහුගේ ජිවිත රටාව බොහෝදුරට නාමික එකක් බවත් පෙනෙන්නේ ඔහුගේම ජිවත රටාවයි.
මත්පැන් වල දුර්ගන්ධය පමණක් නොව නුමුත් මත් පැන්වලින් මත්වී දෙපැත්තට වැනි වැනි සිටි මේ පුද්ගලයා දේවස්ථානයේ පසු පස දොරෙන් ඇතුළුවී අවසාණ බංකුව අයිනේ මොහොතක් රැඳී සිටියේ ඒ බංකුවේ වාඩිවී සිටිය මිනිසුන් ඔහුට එහාට මෙහාට වී ඉඩ පොඩ්ඩක් ලබාදෙයි යන බලාපොරොත්තු වෙනුයි. ඒ නුමුත් කිසිවෙකු තමුන් ලඟින් ඔහු වාඩිකරවා ගැනීමට අකමැති වු නිසාදෝ ඔහුට ඒ බංකු පේලියේ වාඩිවීමට ඉඩක් නොලැබුණි.
පසුපස ඇති බංකු පේලියෙන් වාඩිවීමට ඉඩක් නොලද ඔහු ඊ ලඟට කරන්නේ, තමන් ඉදිරියේ ඇති අනික් බංකුව ලඟට පියවර කීපයක් වැනි වැනි ගොස් එහි සිටින මිනිසුන් ඔහුට ඉඩ පොඩ්ඩක් ලබාදෙයි යන බලාපොරොත්තුවෙන් එතනද ටික වෙලාවක් රැඳී සිටීමයි. ඒ නුමුත් එහිදී පවා කිසිවෙකු ඔහු තමුන් අසලින් වාඩි කරවා ගැනීමට අකමැති වන්නේ මත්පැන්වල දුර්ගන්ධයද නිසා වියහැකියි.
පියවරින් පියවර මෙසේ ඉඩටිකක් ලබා ගැනීමට තමා ඉදිරියේ ඇති සෑම බංකු පේළියක් අවසානයේ වැනි වැනී මොහොතක් රැඳී සිටි මේ පුද්ගලයා අවසානයේදී ශාලාවේ මුල් පේළිය දක්වාම පැමිණියත් වාඩිවීමට ඔහුට ඉඩ ටිකක් කිසිවෙකුගෙන් නොලැබුන බව මේ වන විට දේශනාව දේශනා කරමින් සිටිය දේව ගතිවරයාටත් වැටහෙයි.
අවසානයේදී ඔහු කරන්නේ කෙලින්ම ස්ටේජ් එකට ගොඩ වීමයි. ස්ටේජ් එකේ දේශනා කරමින් සිටිය ඒ දේව ගැතිවරයාද තම දේශනාව මොහොතකට නතර කරන්නේ ඊළඟට සිදුවන්නට යන්නේ කුමක්ද යැයි නොතේරුන නිසායි. දේශනාවට පවා භාධා පමුණුවමින් සිදුවූ ඒ සිදුවීම දෙස ශාලාවේ සිටි සියල්ලෝද පුදුම වී බලා සිටිද්දී, දේව ගැතිවරයා අසලට පැමිණි ඔහු ඊළඟට කරන්නේ ඔහුගේ දෙපා මුල සන්සුන්ව බිම වාඩිවීමයි.
කිසිවෙකු බලාපොරොත්තු නොවූ ලෙසින් සිදුවූ මේ සිදුවීමත් සමගම දේව ගැතිවරයා ඊළඟට දකින්නේ, සභාවේ අනෙක් කොනේ වාඩිවී සිටි එක්තරා මහළු මිනිසෙක් නැගිට සෙනග පිරි සිටිය ඒ ශාලාව මැදින් ඉදිරියට පැමිණෙනු දැකීමයි. දේවස්ථානයේ සිටින සියළු දෙනාම පාහේ හොඳින් දැන හඳුනන මේ මහළු ඇදහිලිවන්තයා සභාවේ වැඩිමහල්ලෙකුද වන නිසාම, සියලු දෙනාම ඔහු විසින් ඒ දේශනාවට භාධා කල ඒ මිනිසා ඉවතට රැගෙන යයි යන ඒ බලාපොරොත්තුවෙන් නිශ්සබ්දව ඒ දෙස බලා සිටිද්දී, ඔහුද ස්ටේජ් එකට ඇවිත් බිමත්ව දේව ගැතිවරයාගේ පාමුල වාඩිවී සිටිය ඒ මිනිසා අසලින්ම බිම වාඩි වන්නේ, ඔහු සමගින් දේශනාවේ ඉතිරි කොටසට සවන්දීමටයි.
සිදුවූ සියල්ල දෙස හොඳින් බලාසිටි සමහර ඇදහිලිවන්තයන් තමුන්ගේ ඇස්වලට ආ කඳුළු හෙමින් පිසදා ගැනීමට උත්සාහ කරද්දී, දේශනාව නැවත ආරම්භ කළ ඒ දේවගැතිවරයා බොහොම අමාරුවෙන් තම කට හඬ අවදිකර සෙනගට කියා සිටියේ; "මගේ මේ දේශනාව ඔබලාට ඉතා ඉක්මනින් අමතක වුණත් අද දින ඔබ දුටුව මේ "ක්‍රිස්තියානි සාක්ෂිය" නම් කිසි දිනෙකත් ඔබට අමතක නොවෙන බව නම් මට ස්ථිරයි" කියායි.
ක්‍රියාවෙන් පෙන්වන ඇදහිල්ල යනුවෙන් අදහස් කෙරෙන්නේ එවැනි ක්‍රියාකාරකම් වලටයි. යාකොබ් තුමාද පැවසු ලෙසින් සිතින් පමණක් නොව නුමුත් ක්‍රියාවෙන් පවා දෙවියන් අදහමින් ජීවත්වූ අවංක ඇදහිලිවන්තයෙකු ගේ සාක්ෂිය ඒ වැඩිමහල්ලා ගේ ක්‍රියාව පිළිඹිඹු කරයි. එවැනි ඇදහිලිවන්තයෙකු මෙන් ජීවිතය වෙනස්කරගෙන ජීවත්වීමට දෙවියන්වහන්සේගේ වචනය වෙතට කීකරුවිමට අපිත් තීරණය කරමු.